වියරු වූ සොයුරු පෙම

 වියරු වූ සොයුරු පෙම- නවකතාව


තෙවන පරිච්ඡේදය


කෙතරම් අගහිඟකම් මධ්‍යයේ වුවද සිරිදාස හා ජගත්ගේ වෑයම වූයේ සුගත්ව සමාජයේ හොඳ තැනකට ගෙන යාමය. ඔවුන්ට අත් වූ ඉරණම ඔහුට නොවීමට වග බලා ගැනීම ඔවුන්ගේ වෑයම විය. මේ නිසාම කිසිදාක නිවසින් දුර පළාතකට පිටමං නොකළ සුගත්ව කොළඹ යැවීමට සියලු කටයුතු සුදානම් කළේ සුගත්ගේම අනාගතය ගැන සිතාය.

දවස් කීපයම ඉතාමත්ම ඉක්මණින් ගත විය. සුගත්ට තම රැකියාවට යාමට තිබුණ දවසත් එළඹුණි. එය ජගත්ට හා සිරිදාසට දැනුණේ ඇසිපිය ගසන සැණෙකින් දින ගෙවුණා හා සමානවය.

සදුඳා උදේ පාන්දරින්ම අවදි උන ජගත්, සුගත් ළඟට ගියේය. 

"ආ නැගිට්ටද? මල්ලි අද කීයටද යන්නේ?" සුගත් දෙස බලමින් ජගත් ඇසුවේය. 

"මෙහෙන්  උදේ 8ට බස් එකේ යනවා. ඒකෙ ගියෙ නැත්තන් ආයේ කොළඹ බස් එක තියෙන්නෙ එකොළහටනේ..." යනුවෙන් සුගත් පැවසූවේ ය. 

"හ්ම්ම්... එහෙනම් මල්ලි ලෑස්ති වෙන්නකෝ. මං එහෙනං ඔය ගෙනියන බඩු ටික ලෑස්තිද කියලා බලන්න යනවා" කියමින් ජගත් කාමරයට ගියේය. කළු හා දුඹුරු මිශ්‍ර බෑගයක් තුළට ඇඳුම් කිහිපයක් හා තවත් අවශ්‍ය දෑ කිහිපයක් දමා මනාව පිළියෙල කරන ලද බෑගය කාමරයෙන් සාලය මතට ගෙන ආ ජගත් එය සාලයේ මේසය උඩින් තැබුවේ ය.

ටික වෙලාවකින් පසු සුගත්  ලෑස්ති වී නිවසේ දොර ළඟ සිටගත්තේය. 

සුදු මල් දමන ලද වතුර වීදුරුවක් අතැතිව  තාත්තා  ඉදිරියට පැමිණියේ ය. 

----------------------------------------------------------------

මව නැති වුව ද ඇයගේ අඩුව කුමන ආකාරයකින්වත් සිය දරුවන්ට දැනෙන්නට ඉඩ නොදුන් සිරිදාස මවක් විසින් සිය දරුවන් වෙනුවන්  ඉටු කරන සෑම සිරිතක්ම සිරිදාස විසින් ඉටු කළේය. එය දරුවන් කුඩා කල සිටම සිදු කිරීමට මොහු වග බලා ගත්තේය.

-----------------------------------------------------------------

නිවසින් පිටතට පැමිණි සුගත්,  පියා අත ඇති වතුර වීදුරුවෙන් ටිකක් බී පියාට වැන්දේය. 

"පරිස්සමෙන් ඉදිං රණ්ඩු සරුවල් එහෙම කරගන්නේ නැතිව" යනුවෙන් පවසමින් සිරිදාස සුගත්ගේ ඔලුව අත ගෑ අතර සුගත් පසුව හැරුණේ ජගත්ට වැදීමටය.

පසුව සුගත්, ජගත්ටද වැන්දේය. ජගත්ද ඔහුගේ ඔළුව අත ගාමින් ඔහුට ආශීර්වාද කළ අතර හොඳින් වැඩ කටයුතු කරගන්නා මෙන් අවවාද කළේය.

"කෝ යමුකෝ එහෙනම් පාර ළඟට අපිත් එන්නම් පාර ගාවට..." යනුවෙන් පවසමින් ජගත් හා ඔවුන්ගේ පියා ද සුගත් සමඟ මිදුලට බැස මඳක් ඉදිරියෙන් ඇති ගුරු පාර ඔස්සේ බසයට නැඟීමට ගුණපාල කඩය දෙසට ගියේ ය.

සුපුරුදු පරිදි අදත් උදෑසනම කඩය ඇර කඩය වැසී යන මෙන් දුම් අල්ලමින් සිටින ගුණපාල මුදලාලි මොවුන් තිදෙනා දැක මඳක් එළියට බැස්සේ ඇස් දෙකත් හීන් කරගෙන යමක් විමසිලි කරන අයෙකු මෙනි. 

"මොකෝ මේ තුන් කට්ටුව උදේම මේ පැත්තේ...බැහැරක් ද?"

"මේ පොඩි එකා රස්සාවකට කොළඹ යන්න කියලා ගුණේ අයියේ..."

"කොළඹ... මොකක්ද කොල්ලෝ රස්සාව?"

"බැංකුවක රස්සාවක් මාමේ..."

"හොඳා හොඳා... යන තැනක හොඳින් රස්සාව කර ගනින් කොල්ලෝ... අද කාලේ හරි නෑ. කරදර එමටයි. හැබැයි මොන කරදර ආවත් තමන් සැලෙන්නැතිව ඉන්න ඕනි ඉතින්. පරිස්සමට වැඩ ටික කරගනින් කොල්ලෝ. දෙවි පිහිටයි"

කිසිදාක වචන දෙක තුනක් පමණ කතා කරන මුදලාලි අද විනාඩි පහළොවක් පමණ කතාබහ කරමින් සිටියේය. ඔහුගේ කතාව නතර වූයේ කඩයට අයෙක් පැමිණ "මුදලාලි..." යැයි හඬ නැගූ විටය.

මුදලාලිගේ පිටවීමත් සමඟ මොවුන් තිදෙනාම බස් එක පැමිණෙන තුරු බලා සිටියේය. 

පසුව බසය පැමිණෙන තුරු ජගත් සුගත්ව කතාවට අල්ල ගත්තේය.

"මේ මට අහන්නත් බැරි උනා එදා බලන්න ගිය බෝඩිම කොහොමද?... "

"ආ... මං බලලා ආපු බෝඩිම නම් හොඳයි. ඒ බෝඩිම බාර නැන්දත් හොදයි. මාසෙට රුපියල් 5000ක් ඉල්ලුවා. අනික ඒකේ තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නැවතිලා" යනුවෙන් පවසමින් ජගත්ගේ මුහුණ දෙස බැලුවේ ය. 

"එහෙමද... ඔන්න බස් එක එනවද කොහෙද. ඔය හෝන් ගහන්නේ..." ඈතින් එන බස් රථයේ සේයාව දුටු ජගත් සුගත් දෙස බලා කීවේය. 

බස් රථය සුගත්ව පසුකරගෙන ගොස් මඳක් ඉදිරියෙන් නැවැත්වීය. මං ගිහිල්ලා එන්නම් යනුවෙන් පවසමින් තඩි බෑගයක් අතට ගනිමින් බසයට ගොඩ වීය.

------------------------------------------------------------------

දුක, ගැහැණු පිරිමි බේදයකින් තොරව සියල්ලන්ටම එකසේ දැනෙයි. නමුත් ගැහැණු පිරිස් එය පිටතට පෙන්වන නමුත් පිරිමි පුද්ගලයන් එය සිතෙහිම දරා ගනියි. මොවුන් තිදෙනාගෙන් අයෙක් දුරකට යන පළමු අවස්ථාව මෙය විය. මේ දක්වාම මොවුන් තිදෙනාම පේනමානයේ සිටියේය. සිරිදාස හා ජගත්, සුගත්ව මෙලෙස රැකියාවට මෙතරම් දුරකට යවන්නේ නොයා බැරි නිසාමය. මේ නිසාම සුගත් බසයට නඟින විට ඉතාමත් දුක්මුසු මුහුණින් බලා සිටින සිරිදාස හා ජගත් ඔවුන්ගේ සිත තුළ පවතින වේදනාව දරා සිටින්නේ පිටතට නොපෙන්වමිණි. මන්ද සුගත්ගේ සිතට ද එය බලපෑමක් වෙයි යැයි සිතා ය. 







Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය