වියරු වූ සොයුරු පෙම
වියරු වූ සොයුරු පෙම- නවකතාව
දෙවන පරිච්ඡේදය
ගේ දොර ළග සිටි සිරිදාස මිදුලට පැමිණෙන්නේ සුගත්ගෙන් සුභ ආරංචියක් දැන ගැනීමට නමුත් සුගත් තමා ළඟට පැමිණෙන්නේ මැලවී ගොස් ඇති මුහුණත් සමඟය..
"මොකෝ... මුහුණ මැලවිලා... ගිය වැඩේ හරිද?"
සුගත්ගේ රැකියාව ගැන බලාපොරොත්තු මවාගෙන සිටින සිරිදාස සුගත්ගෙන් විමසුවේ ය...
මඳ වේලාවක් නිශ්ශබ්දව සිටි සුගත්, "සප්‍රයිස්..." යනුවෙන් එක්වරම නැඟී සිටියේ ජගත්ව හා සිරිදාසව තිගැස්වමිනි.
"ඈ.. බං මොකක්ද ඔය සර්පයිස් කියන්නේ?"
සුගත් ගේ වදනින් පුදුමයට පත් වූ සිරිදාස සුගත්ගෙන් ඇසුවේ ය.
"සර්පයිස් නෙමේ තාත්තේ, මං කිව්වේ සප්‍රයිස් කියලා ඒ කියන්නේ ඔය කවුරු හරි කාවහරි පුදුම කරනකොට එහෙම දැන් කාලේ කියන්නේ..."
යනුවෙන් සුගත් සිරිදාසට තේරුම් කර දුන්නේය.
"අනේ මන්දා පුදුම කරවනවා කියනවා. ඔය කියන එකක් තේරෙන සිංහලෙන් කියන්න එපැ. හරි දැන් කතාව නවත්තලා කියපන් ගිය වැඩේ හරිද?අයියයි මායි දෙන්නම උදේ ඉදලා උබගේ වැඩේ ගැන කියව කියව හිටියේ" සිරිදාස ජගත්ගේ මුහුණ දෙස බලමින් කිව්වේය.
"ඒකනම් ඇත්ත මල්ලි, මොකද උනේ වැඩේ හරිද?" නිශ්ශබ්දව සිටි ජගත් එක් වරම ඇසුවේය.
"වැඩේනම් හරි ඒත්..." සුගත් යම් කල්පනාකාරී ස්වභාවයකින් ජගත් දෙස බැලුවේ ය..
"ඒත් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ද?.." මඳක් කලබලකාරී වූ ජගත් ඇසුවේය.
"නෑ අයියේ, දැන් මට වැඩ කරන්න හම්බුනේ කොළඹ.එතකොට කොළඹ ඉදලා හැමදාම යන්නයි එන්නයි බෑනේ.. එහෙම යන්නයි එන්නයි ගියොත් බස් වලටම සල්ලි ඉවර වෙයි. එතකොට මට දැන් කොළඹ බෝඩිමක නැවතිලා තමයි වැඩට යන්න වෙන්නේ.එහෙම නැවතුනොත් මට ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක්"
යනුවෙන් පවසා සුගත් තම කාමරය තුළට ගමන් කළේ ගමන් විඬාවත් දැඩි කල්පනාවකුත් සමඟය.
"මල්ලී කියන එකත් ඇත්ත නේද තාත්තේ.. දැන් බලන්නකෝ කොළඹ ඉදලා මෙහාට බස් ගාස්තුවම"මේ දවස් ටිකේ මල්ලිට එහාට මෙහාට යන්නම බස් ගාස්තුව කීයක් උනාද?.... "
"දැන් කාලේ ඉතින් හැම දේම ගනන්නේ..."දැන් බොඩිමක නැවතුනොත් වියදම් වෙන්නේ මාසෙකට යන වියදම විතරයිනේ..."
"දැන් ඔය කවදාද දන්නෑ යනව කියන්නේ" සිරිදාස ජගත්ගෙන් ඇසුවේ ය.
"මල්ලී යන දවසනම් තාම කිව්වේ නෑ.. හැබැයි මට නම් එයාගේ කතාවෙන් තේරුනේ හෙට අනිද්දම යන්න ඕනි වගෙ"
"දැන් එකපාරම රස්සාවට යන්න බෑනේ ඉන්න තැනක් හොයාගෙනනේ යන්න වෙන්නේ...."
"සල්ලි එහෙමත් එපෑ...ඕවට දෙන්න ඕනිනේ නවතින්න ඉස්සෙල්ලා" ජගත් සිරිදාසට පැවසුවේ දිගු සුසුමක් හෙළමිනි.
ජගත්ගේ කතාව ආසා සිටි සිරිදාස එක්වරම හඬ අවදි කොට " හ්ම්ම්... හොඳ වෙලාවට මං සල්ලි ටිකක් ඉතුරු කර ගත්තේ.. හැබැයි ඒ ටික මදිවෙයිද දන්නෑ..." සිරිදාස කල්පනා ස්වභාවයෙන් ජගත් දෙස බලා පැවසුවේ ය.
"බලමුකෝ එක මාසෙකට විතරනේ ඔහොම සල්ලි ඕනි... මාත් ඉතුරු කර ගත්ත සල්ලි වගයක් තියෙනවා... ඒ ටිකත් දීලා යවමු... මදිවෙන එකක් නෑ'
"අපි දෙන්නට නම් මොනවා හරි කර ගන්න බැරියෑ..."
ජගත් ද පියා සේම ඉතිරි කිරීමට දක්ෂයා ය.ඔහු අනවශ්‍ය වියදම් නොකරයි. සෑම දෙයක්ම පිරිමැස්මෙන් භාවිතා කරයි. ඔහු සෑම දෙයක්ම කරනුයේ දුර දිග කල්පනා කරමින්ය.
"ලොකු පුතේ, උඹේ සල්ලි ඕනී නෑ බං උබත් ඕවා වැඩකට ද දන්නෑනේ එකතු කරේ.."
"නෑ තාත්තේ මං මේවා තියා ගත්තේ අපිට හදිස්සියක්වත් උනොත් ගන්න..."
"දැන් ඉතින් මේකත් ලොකු හදිසියක්නේ..."
"ඉන්නකො ඒ ටික මං ගේන්න.."
යනුවෙන් පවසා ජගත් තම කාමරයට ගියේය.
කාමරයට ගොස් ජගත් නැවත පැමිණෙන්නේ ලොකු ලියුම් කවරයක් අත ඇතිවය..
"ආ... තාත්තේ මෙතන රුපියල් විසි පන්දාහක් තියෙනවා.. මේකත් දාලා තාත්තා මල්ලිට දෙන්න"
"එහෙනම් පුතේ ගිහිල්ලා මගෙ කාමරේ අල්මාරියේ තියෙනවා දහදාහක් ඒකත් ගෙනාවනම්..."
ජගත් කාමරයට ගොස් අල්මාරිය ඇර රුපියල් දහදාහ රැගෙන සිරිදාස අතට දුන්නේය.
සිරිදාස තම මුදලුත් ජගත්ගේ ලියුම් කවරයට දමා ජගත් අතට දුන්නේය.
"මෙන්න සල්ලි ටික උඹම දීපන්කෝ මල්ලිට" කියමින් සිරිදාස කුස්සියට ගියේය.
"මල්ලී... මල්ලී.... එනවකෝ පොඩ්ඩක් මෙහාට"
ජගත්ගේ හඬ ඇසී කාමරයේ වැතිරී සිටි සුගත් "මේ එනවා ..." යනුවෙන් පවසමින් කාමරයෙන් එළියට පැමිණියේය.
"ඇයි අයියේ? "යනුවෙන් පවසමින් ජගත්ගේ මුහුණ දෙස බැලුවේය.
"මෙන්න මෙතන සල්ලි වගයක් තියෙනවා. තාත්තායි මායි එකතු කරගත්තු වගයක්. දැන් මල්ලි බෝඩිමක් බලන්න යනකොට මේ ටික ගෙනියන්න" යනුවෙන් ජගත් අත තිබූ මුදල් ඇති ලියුම් කවරය සුගත් අත තැබුවේය.
"මේ මං අහන්න හිටියේ දැන් යන්නේ කවදද? ඉස්සෙල්ලා කිව්වේ නෑනේ" යනුවෙන් ජගත්, සුගත්ගෙන් ඇසුවේය.
"මං යන්නෙනම් ලබන සතියේ සදුදා. ඒත් අයියේ මේ සල්ලි අරන් ගිහින් කොහොමද?ඔයාලටත් එපෑ" යනුවෙන් සුගත් ඇසුවේ යම් කල්පනාකාරී ස්වරූපයකිනි.
"මල්ලි එහෙම හිතන්න එපා. අපිට නම් මෙහෙ මොනවහරි තියෙනවා. ඔයාට එහෙ ගිහින් ඉන්න වෙන්නේ තනියමනේ. වියදම කොච්චරක්ද කොළඹට ගියහම"
"ඔව් ඉතින් දැන් මේ යන මාසේ විතරනේ. ඊට පස්සේ මාසේ ඉදන් පඩිය හම්බ වෙනවනේ"
"පඩිය හම්බුනත් නැතත් අපිට පුළුවන් පුළුවන් වෙලාවට කීයක්හරි එවන්නම්" යනුවෙන් පවසා ජගත් එළියට ගියේ ය.
පසුව සුගත්ද ලියුම් කවරය තැබීමට කාමරයට ගියේය...
Comments
Post a Comment