වියරු වූ සොයුරු පෙම

වියරු වූ සොයුරු පෙම - නවකතාව

වෛරයේ ගින්නට හසු වූ සහෝදර ප්‍රේමයක් ....


පළමු පරිච්ඡේදය


මිනිස් දිවියේ සමහර බැඳීම් ඔවුන් විසින්ම ඇති කරගනු ලබනවා. තවත් බැඳීම් මිනිසුන්ට උපතින්ම හිමි වෙනවා.මේ බැඳීම් අතර ඇති එක් සොඳුරු බැඳීමක් ලෙස සහෝදර බැඳීම හැඳින්විය හැකියි.ජගත් හා සුගත් අතර තිබුණේද එවැනිම වූ සුන්දර සහෝදර බැඳීමකි. 

හිරු උදා වී හෝරා තුනක් පමණ ගෙවී හමාරය. තේ කෝප්පය රස විදින ගමන් ඉස්තෝප්පුවට පැමිණීම ජගත්ගේ පුරුද්දකි. මෙසේ මඳ වේලාවක් ඉස්තෝප්පුවට වී සිටින ජගත්ට ඇසෙනුයේ පියුම්ගේ පා පැදියේ ටිරිං ටිරිං සද්දයයි. පුටුවෙන් නැඟිට විපරම් කර බලන ජගත්, පියුම් ගේ දිහාවට එනු දැක ටිකක් මිදුලට බැස්සේය.

"ගෙදර කවුද? ... ගෙදර කවුද?" පියුම් විසින් වටපිට බලමින් කෑ ගැසීය.

ඔහුගේ හඬ ඇසී කව්රුන් හෝ තමා දෙසට එනු දුටු පියුම් එක්වරම,

 "ආහ්... මේ ජගත් මල්ලි ඉන්නේ මිදුලට වෙලා... මොකෝ අද උදේම මිදුලට බැහැලා... "

"මං දැක්කා අයියා මේ පැත්තට එනවා. ඒකයි මං මේ ආවේ.මොකද මේ පැත්තේ.. අපිට ලියුමක්වත් තියෙනවද?...."

"මේ.... සුගත් මල්ලිට නම් ලියුමක් තියෙනවා .. කෝ සුගත් මල්ලි ඉන්නවද?... නැත්නම් කොහේ හරි ගිහින්ද?" 

"කොහේවත් ගිහින් නම් නෑ, හැබැයි තාම ගොර ඇද ඇද නිදි ..."  සිනාසෙමින් මෙන් ජගත් පැවසීය.

"එහෙම පුළුවන් ඈ දැන් ඉලන්දාරි උනාම.උදේම නැගිටලා වැඩක්පලක් කරන්න එපෑ .. ඈ ජගත් මල්ලි සුගත් මලයා වැඩකට එහෙම යන්නේ නැද්ද?" පියුම් විසින් විමසුවේ තම කුතුහලයට පිළිතුරක් ලබා ගැනීමේ අටියෙනි. 

"අනේ එහෙම නෑ අයියේ , මල්ලි රස්සා දෙක තුනකටම ඇප්ලිකේෂන් දාලා ඉන්නේ.. දැන් ඔය බලාගෙන ඉන්නේ ඉන්ටවිව් යන්න එනකන්..."

--------------------------------------------------------------------

ජගත්, ඉතාමත් අහිංසක, නිහතමානී පුද්ගලයෙකි. වැඩිදුර අධ්‍යාපනයක් නොලද මොහු සෑම විටම උත්සාහ කළේ සිය සොහොයුරාගේ යහපතමය. මේ නිසාම පවුලේ සියලු බර කරට ගත් මොහු ඒ වෙනුවෙන්ම ඇප කැප වී කටයුතු කළේය. සුගත්, තරමක් අලස පුද්ගලයෙකු වුවද යහපත් චරිතයකි. නමුත් ජගත් සෑම විටෙකම උත්සාහ දැරුවේ සිය සොහොයුරාව මිනිසුන් ඉදිරියේ තව තවත් යහපත් චරිතයක් බවට පත් කරළීමට ය. එසේ කියා ඔහු සුගත් ගේ වැරදි වසා තැබුවේද නැත. ඒවා ඔහුට මනාව අවබෝධ කර දීමටද ජගත් සමත් වුණා. මන්ද සුගත් කාගේ හෝ බසකට අවනත වෙනවා නම් ඒ අන් කවරකුගේ හෝ බසට නොව සිය වැඩිමහල් සොහොයුරා වන ජගත්ගේ බසට වීමයි. 

---------------------------------------------------------------------

"ආ.... මේ කතාවෙන් කතාව ආපු ලියුම දෙන්නත් බැරි වුණා. මෙන්න මෙතන අත්සනක් දාන්නකෝ මල්ලි... "

"ආ අයියේ ,මෙන්න මං අත්සන දැම්මා..."

"මෙන්න ගන්නකෝ ලියුම මට යන්නත්  පරක්කු වෙනවා. උදේම බෙදන්න තියෙන ඔක්කොම ලියුම් ටික බෙදලා ඉවර කරන්න ඕනි. දවල් වෙනකොට පාරේ යන්නත් බෑ අව්ව වැඩී නේ..."

"ආහ්.. හා එහෙනම් පරක්කු වෙනවනේ ගිහින් එන්නකෝ... "

මොකෝ මල්ලි අද සිරිදාස මාමා පේන්න නැත්තේ. කොහේ හරි ගිහින්ද? පා පැදියට නඟින ගමන් ඇසුවේ වටපිට බලමින් ය.

"නෑ අයියේ තාත්තා ගේ ඇතුළේ ..."

"ආ...එහෙමද එහෙනම් මාමාට කියන්න මං ගියා කියලා" යනුවෙන් පවසා පියුම් නික්ම ගියේය.

--------------------------------------------------------------------------------

ජගත්ගේ හා සුගත්ගේ හිතසුව පිණිස යම් කෙනෙක් ඇත්ද ඒ අනෙකෙකු නොව ඔහුගේ පියාය. මවගේ වියෝවයෙන් පසු මොවුන් දෙදෙනාට මවත් පියාත් මොහුමය. ඔහුගේ හිතේ හයිය නිසාම ඔහු තනිවම දරු දෙදෙනා උස් මහත් කරේය. කෙතරම් අග හිඟකම් පැවතියද අනුන්ට අත නොපා, කාගෙන් වත් වචනයක්වත්  නොඅසා පාඩුවේ ජීවත් වීමට මොවුන් පුරුදු වී සිටියේ ය. 

----------------------------------------------------------------------------------

"හා මං කියන්නම්...." ලියුමත් අරන් ජගත් ගේ ඇතුළට ගියේය...

"කවුද ආවේ, ලියුම් බෙදන කොලුවද?"

"ඔව්. මේ මල්ලිට ලියුමක් ඇවිල්ලා..."

"මං කිව්වේ නිකන්ද ... ඔය ලියුම් කොලුවා ආවොත් පැය ගානක් කතාවට අල්ල ගන්නවනේ" සිරිදාස වටපිට බලමින් පැවසීය.

"කෝ තාත්තේ මල්ලි? තාම නිදිද?"

"ඔය උඹ එළියේ ඉද්දි ලියුම් බෙදන කොලුවට බැන බැන  ගියේ මූණ හෝද ගන්න.." මඳ හිනාවක් පාමින් සිරිදාස පැවසිය...

"මං හිතන්නේ ලියුම් අයියා කියපු ඒවට වෙන්න ඇති .... කෝ ඉන්නකෝ මං මේක දීලා එන්නම්" යනුවෙන් පවසා ජගත්, සුගත්ට හඬ නගමින් සුගත් සොයා ගියේය.

"මල්ලී.. මල්ලී..."

"ආ.. මෙන්න තමුසෙට ලියුමක් ඇවිත් ..."

"ඉන්න පොඩ්ඩක් මං එනකන්.  කෝ ගියාද ?" තුවායෙන් මුහුණ පවසමින් ,වට පිට බලමින් පැමිණෙන සුගත්, ජගත්ගෙන් ඇසීය.

"කවුද? ලියුම් අයියද?"

"ඔව් ඔව් ඒ අයියා තමා .. ලියුම් බෙදන්න ආවනම් ලියුම දීලා යන්න එපෑ ... අනුන්ගේ ඕපාදූප හොයන්නැතුව" සුගත් තරහින් මෙන් පැවසීය.

"ආහ්... මේකටද ඔය ඩෝං ගිහින් තියෙන්නේ ... මොනවා කිව්වත් ඒකෙන් ඉක්මනට ඇහරලා නම් තියෙනවා...." ජගත් මද සිනහවක් පාමින් ඇසීය.

"ඔයාටත් විහිලු ,කෝ දෙන්න ලියුම..."සුගත්, ජගත් අත තිබූ ලියුම ගත්තේය. ලියුම දිග හරින සුගත් එක්වරම,

"ඕ... යස්.. යස්... මේ බලනවා මට කොච්චර වාසනාවක් තියෙනවද කියලා.. දැන් ඉදලා මට කාගෙන්වත් මොකුත් අහන්න ඕනි නෑ... " යනුවෙන් කෑ ගැසීය.

"මොකද ඔච්චර හයියෙන් කෑ ගහන්නෙ, මොනවද ඕකේ තියෙන්නේ.." ජගත් පුදුම වී ඇසීය.

"මේකේ තියෙනවා... මට රස්සාවක් හම්බ වෙලා ඒකේ ඉන්ටවිව් දෙන්න එන්න කියලා .. මේ බලන්නකෝ..." යැයි පවසා ලියුම ජගත් අතට දුන්නේය...

වැඩි දුර අධ්‍යාපනයක් ජගත්ට නොතිබුනද සාමාන්‍ය තරමට ඉංග්‍රීසි කියවා තේරුම් ගැනීමට හැකියාවක් ජගත්ට තිබුණි.

"අනේ වාසනාවක්! ඉන්න මං මේක තාත්තට කියලා එන්නම්... තාත්තත් ගොඩක් සතුටු වෙයි. අපි කොච්චර කාලයක් බලන් හිටියද මේ දවස එනකන්" සතුටුබර මුහුණෙන් යුත් ජගත් දුවගෙන සිරිදාස සොයා ගියේය.

"තාත්තේ.. තාත්තේ.. එන්නකෝ පොඩි දෙයක් කියන්න...."

"මොකද බං මහ හයියෙන්   කෑ ගහන්නේ? " ඉස්තෝප්පුවට වී සිටි සිරිදාස ඇසුවේය.

"කෑ ගහන්න වටින ආරංචියක් තමා තාත්තේ ..."

"මල්ලිට රස්සාවක් හම්බ වෙලා... ඒකට ඉන්ටවිව් දෙන්න එන්න කියලා තියෙනවා" 

ජගත්ගේ පසුපසින්ම සුගත් ද ඉස්තෝප්පුවට පැමිණ සිටගත්තේ මුව සිනහවෙන් පුරෝගෙනය.

"අනේ වාසනාවක් ,කොහෙද රස්සාව හම්බ වෙලා තියෙන්නේ පොඩි පුතේ?"සිරිදාස, සුගත් දෙස බැලීය.

සිරිදාසගේ ඒ පැණයත් සමඟ සුගත්ගේ මුවේ තිබූ සතුට මඳක් අඩු වූයේ ක්ෂණයකිනි.

"මේ ළග නම් නෙමේ තාත්තේ..."  සුගත් තරමක් දුක් මුසු ව ජගත් හා සිරිදාස දෙස බලා පැවසුවේය.

"අපිට කියන්නත් ඉස්සෙල්ලා මල්ලි මොකද  මූණ  අවුල් කරගත්තේ..." ජගත් තරමක් කුතුහලයෙන් යුතුව ඇසීය.

"නෑ අයියේ, බලන්නකෝ  මට රස්සාවට ඉන්ටවිව් එන්න කියලා තියෙන්නේ  කොළඹ ලොකු බැංකුවකින්. ඉන්ටවිව් එකෙන් පාස් වුණොත් මට මෙහෙ ඉදලා හැමදාම රස්සාවට යන්න බැරි වෙයි නේද? බෝඩිමකවත් නවතින්න වෙයි නේද?

"ආහ්. ඒකට ද මේ මූණ අවුල් කර ගත්තේ. මල්ලී ඉන්ටවිව් එකෙන් නම් පාස් වෙනවා ස්ථීරයි. හැබැයි මල්ලි   කියන එකනම් හරි.

"මොකක් හරි කරමු කෝ.දැන් කියන්නකෝ ඔය ඉන්ටවිව් එක කවදද තියෙන්නේ?"

"මේක තියෙන්නෙ හෙටද කොහෙද "

"එහෙමද?" ජගත් යන්තමින් මිමිණුවේය.

"මං කියන්නද. මල්ලි හෙට ඉන්ටවිව් එක දීලා එන්න. ඊළඟට අපි මොකක් හරි බලමුකෝ"යනුවෙන් පවසා ජගත් තම කාමරයට ගියේය...

ඒ පිටුපසම සුගත් ද තම ලියුම ලියුම් කවරයට දමමින් කාමරයට ගියේය....

පසුදා උදෑසන නැගිටිණ සුගත්ට දැනුනේ වෙනදාට වඩා  ප්‍රසන්න ගතියක්. වෙනදාට උදේ නමය දහය පමණ වෙන තෙක්  නිදා ගැනීමට පුරුදු වී සිටි මොහු පාන්දරම නැගිට සියලු වැඩ අහවර කර ගනිමින් සිටිනු දුටු ජගත් පුදුම වී,

"ආ.. මල්ලි නැගිට්ටද උදේම..."  සුගත් දෙස බලා ඇසුවේය...

"ඔව් ඉතින්, මං යන්න එපෑ අද ඉන්ටවිව් එකට..."

"එහෙනම් මල්ලි ලෑස්ති වෙලා එන්නකෝ.. මං යනවා පොඩ්ඩක් තාත්තව හම්බ  වෙන්න..." 

ටික වේලාවකින් සුගත් ලෑස්ති වී සාලයට පැමිණියේ ය.....

"ෂා.... මල්ලි දැන් තමා පේන්නේ නියම බැංකු මහත්තයෙක් වගේ..." ඉතා නිහතමානි ආඩම්බරයකින් යුක්තව ජගත් කීවේය.

"මේ තාත්තා කෝ? මං උදේ ඉදන් දැක්කේ  නෑනේ.."

"තාත්තා එලියට වෙලා ඉන්නවා. මල්ලි එලියට එනකන්. වතුර වීදුරුවකුත් අතේ තියාගෙන "

"දැන් යන්න පරක්කුත් වෙයි. ඉක්මන් කරලා එලියට බහින්න..."

සුගත් එකපාරටම ජගත්ගේ දෙපා නැමදුවේය..."මං ගිහින් එන්නම්..." යනුවෙන් පවසා සුගත් එළියට බැස්සේය...

ඉතා සුන්දර වූ සිනහවක් පාමින් සිරිදාස සුගත් ළගට පැමිණ වතුර ටිකක් පොවා,

කිසිම බාධාවක් නොවී තුණුරුවන්ගේ සරණින් පුතාගේ හැම වැඩක්ම සපල වෙන්න ඕනි... 

"එහෙනම් මං ගිහින් එන්නම් තාත්තේ..." සිරිදාසගේ දෙපා නමදිමින්  සුගත් පැවසුවේය..

සුගත් යනතුරැම සිරිදාස හා ජගත් ගෙදර දොරකඩට වී බලා සිටියේය...

සුගත් ගිය විගසම ජගත් හා සිරිදාස පුරුදු පරිදිම තම සුපුරුදු රස්සාවට ගියේය. 

දහවල් 12 පමණ වන විට, 

"උඹට ඕවා කරන්න පුළුවන්ද පුතේ.... මං දන්නවා උබ ඕවා කරන්නේ පුළුවන් කමට නෙමෙ හිතේ හයියට කියලා... "යනුවෙන් සුසුමක් හෙළමින් සිරිදාස,  ජගත් දෙස බැලූ වේ විඩාබර දෙනෙතිනි.

"කවද හරි මල්ලිට හරියයිනේ තාත්තේ.... අනිත් එක අද මල්ලි ගියානේ ඉන්ටවිව් එකකට...  මල්ලිටත් හොද රස්සාවක් හම්බුනහම තාත්තාට පුලුවන් නේ ගෙදර ඉන්න. අනික ඌ හොද තැනකට ගන්න මං ඕනිම දෙයක් කරනවා"

සිමෙන්ති අනමින් සිටි ජගත් තම පියාට පැවසිය. 

සෑම විටම ජගත් හීන දැක්කේ තම සහෝදරයාගේ  සුන්දර අනාගතය පිළිබඳවය. ඔහු ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් වී සිටියේය.

"මටත් හිතෙනවා තාත්තේ කොළඹ දිහා වැඩක් හොයා ගෙන යන්න. එතකොට තව සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන්නේ. මල්ලිට හරි දෙන්න. සවල පසෙකින් තබන ගමන්  එක්වරම ජගත් හට කියවුණේ ය.

"ඔය කොළඹ දිහා වැඩට ගියාට ඔච්චර රස්සා තියෙද බං. එහෙනම් ඔය හැමෝම කොළඹ යන්නැතැ රස්සා හොයා ගෙන. අනික ඔය නොපෙනෙන දිහාස් වල වැඩ කරනවට වැඩියේ හොදා මෙහෙට වෙලා දන්න කර්මාන්තයක් කරන එක." ජගත්ගේ උපායට අකමැති බව සිරිදාස ප්‍රකාශ කරන්නේ බදාම ගොඩ ළඟට යන ගමන්ම ය.

"මේ කතා කර කර ඉන්න නෙමෙ. මෙන්න මේක ඉක්මනින් ඉවර කරමු" යැයි පවසා සිරිදාස බදාම තාච්චිය ජගත් අතට දුන්නේය.

"දැන් මල්ලිත් එනවා ඇති නේද?..."

"මේක ඉක්මණින් ඉවර කරලා යන්න ඕනි..."  

"අද ඉන්ටවිව්  එක කොහොම වුනාද දන්නෑ. මල්ලි හොඳට කරන්න ඇති නේද තාත්තේ?"

යනුවෙන් ජගත් ප්‍රශ්න වැලක්ම සිරිදාසගෙන් ඇසුවේ සිය සහෝදරයා හමුවී විස්තර දැනගැනීමට නොඉවසිල්ලෙන් මෙන්ය.

"හරි හරි තව ටිකකින් ගෙදර යනවනේ බං. ගියහම බැරියැ විස්තර අහගන්න"

ඉක්මනින් සියලු වැඩ අහවර වී ජගත් හා සිරිදාස ගෙදරට යන්නේ සුගත් නිවසට පැමිණ ඇතැයි සිතාය.නමුත් මොවුන්  දෙන්නා ගෙදරට ගියද ඒවන විටත් සුගත්  ඇවිත් සිටියේ නැත. 

"මල්ලී තාම ඇවිත් නෑනේ. මොකද දන්නෑ" යනුවෙන් ජගත් සිරිදාසට පැවසිය.. 

"ඕක තමා බං ඉගෙන ගෙන ගියත් රස්තියාදු කරන එකනම් කොහේ උනත් කරනවා. එතකොට තමා හිතෙන්නේ කුලී වැඩක් කරන එක හොඳයි කියලා... බලමුකෝ තව ටිකකින් එයිනේ" යැයි පවසා සිරිදාස ගේ තුළට ගියේය.

මඳ වේලාවක් ගිය පසු පරවී ගිය මලක් මෙන් මුහුණ මලවා ගෙන එන සුගත්ව සිරිදාස දකිනුයේ සේයාවක් මෙන්ය...


Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය